ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මෙරට මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව 2022 ඔක්තෝබර් මස 26 වන දින රාත්‍රියේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණින් වූ මෙරට මුහුදු සීමාව තුලදී ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව මඟින් මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්, 2022 ඔක්තෝබර් 26 වන දින රාත්‍රියේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඩෙල්‍ෆ්ට් දූපත අසල මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මුර යාත්‍රාවක් යොදවා එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදුකරන ලදී. එහිදී, ඩෙල්ෆ්ට් දූපතට දකුණින් වූ මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) සහ ධීවර ආම්පන්න මෙලෙස ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනා (07) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.