නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 20 දෙනෙකු නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 දෙසැම්බර් මස 05) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් විසි දෙනෙකු (20) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 474 වේග ප්‍රහාරක යාත්‍රාව යොදවා අද අළුයම (2022 දෙසැම්බර් මස 05) ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද (06) ඇතුළුව වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 16ක්, එක් කාන්තාවක් (01) සහ වයස අවුරුදු 18ට අඩු තිදෙනෙක් (03) ඇතුළු පුද්ගලයන් විසි දෙනෙකු (20) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් මෙම පිරිස කලවංචිකුඩි, මඩකලපුව, මූතූර්, යාපනය සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස සහ බහුදින ධිවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, නීති විරෝධී සහ අවධානම් සහගත ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජාවාරම් කරුවන්ගේ කූට උපක්‍රම වලට හසුවී තම ජීවිත හා දේපල විනාශ කර ගැනීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.