නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාවේ 2022 දෙසැම්බර් මස 05 වන දින රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් රැගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු සහ ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව මඟින් වයඹ මුහුදු තීරයේ 2022 දෙසැම්බර් මස 05 වන දින රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී ජත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර කල්පිටිය, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුලට ඇතුලුවී තිබූ සැකකටයුතු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහිදී, එම ඉන්දීය ධීවර යාත්‍රා දෙකෙහි පාර්සල් 128 ක අසුරා නීති විරෝධී ලෙස ‍මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් සමඟ එම ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ ඉන්දීය ජාතික සැකකරුවන් අට දෙනෙකු (08) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02), බීඩී කොළ තොගය සහ ඉන්දීය ජාතික සැකකරුවන් අටදෙනා (08) මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 15000 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙවැනි ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙරට මුහුදු කළාපය නිරන්තර ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.