රුපියල් මිලියන 9 කට අධික දළ විථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 දෙසැම්බර් මස 08 වන දින පස්වරුවේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත උච්චමුනේ නාවික අනුඛණ්ඩයේ මැරීන් බලඝණයේ කුඩා යාත්‍රාවක් මඟින් 2022 දෙසැම්බර් මස 08 වන දින පස්වරුවේ කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කරන ලදී. අනතුරුව, එම සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්‍ෂා කිරීමට උත්සාහ කිරීමේදී, නාවික හමුදා යාත්‍රාව මඟහැර උච්චමුනේ වෙරළ තීරය දෙසට යාත්‍රා කරන ලදී. පසුව සිදුකල වැඩිදුර පරික්‍ෂාවේදී උච්චමුනේ වෙරලේ අතහැර දමා තිබූ එම සැකකටයුතු ඩිංගි යාත්‍රාව සොයා ගන්නා ලද අතර, එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 9 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කරන ලද අතර, ඩිංගි යාත්‍රාව නාවික හමුදාව භාරයේ තබා ඇත.