දකුණු මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03 ක්‍ නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 දෙසැම්බර් මස 13 වන දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 180 ක් පමණ (කිලෝ මීටර් 333 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පෙරලීමෙන් අනතුරට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් (03) නිරුපද්‍රිතව බේරාගැනීමෙන් අනතුරුව, ගොඩබිමට රැගෙනවිත් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.

ගාල්ල, ධීවර වරායෙන් 2022 නොවැම්බර් මස 22 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් 06 දෙනෙකු රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් (IMUL-A-0539-TLE) දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 180 ක් පමණ (කිලෝ මීටර් 333 ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පෙරළී එහි සිටි ධීවරයින් අනතුරට පත්ව ඇති බවට නාවික හමුදා මූලස්ථානයට ලද තොරතුරකට අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත අනතුරට පත් එම ධීවරයින් මුදවා ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව, දකුණු නාවික විධානයට අයත් දකුණු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නියුතු හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ පී 436 වේග ප්‍රහාරක යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් මුදවා ගැනීම සඳහා යොමු කරන ලදි. පී 436 යාත්‍රාව මඟින් එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරමින් සිටි මෙරට බහුදින ධීවර යාත්‍රාවක ද සහය ඇතිව අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු (03) නිරුපද්‍රිතව මුදා ගැනීමට ක‍ටයුතු කෙරිණි.

පී 436 යාත්‍රාව මඟින් මුදාගත් එම ධීවරයින්ගෙන් අනාවරණය වූ තොරතුරු මත අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටියදී අතුරුදන් වූ අනෙක් ධීවරයින් තිදෙනා (03) සොයා එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ මෘත ශරීරයක් සොයා ගන්නා ලද අතර, එම මෘත ශරීරය අනතුරට පත් යාත්‍රාවේ ධීවරයෙකුගේ නොවන බවට මුදා ගත් ධීවරයින් විසින් හඳුනාගන්නා ලදී. නාවික හමුදාව මඟින් මුදාගත් ධීවරයින් තිදෙනා (03) සමඟ ඉදිරි කටයුතු සඳහා එම මෘත ශරීරයද 2022 දෙසැම්බර් මස 13 වන දින රාත්‍රියේදී හම්බන්තොට වරායට රැගෙන එන ලදී. ගොඩබිමට රැගෙන ආ ධීවරයන් තිදෙනා (03) ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කෙරුණු අතර, පී 436 යාත්‍රාව මඟින් රැගෙන ආ මෘත ශරීරයද ඉදිරි කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත භාරදීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සුදානමෙන් සිටී.