වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනය උදයපුරම් වෙරලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ අද දින (2022 දෙසැම්බර් 22) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් අද දින (2022 දෙසැම්බර් 22) යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළේ නීතිවිරෝධී ධීවර දැලක සූක්‍ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් සමඟ පුපුරණ ද්‍රව්‍ය සඟවා තිබූ නීතිවිරෝධි ධීවර දැලද මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය වෙරලේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කරන අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, විශේෂ කාර්යය බළකාය වෙත භාරදීමට කටයුතු කෙරිණි.