නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, ලුණුවිල මුහුදු ප්‍රදේශයේ 2022 දෙසැම්බර් මස 28 වන දින උදෑසන සිදුකල මුර සංචාරයකදී, මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 150 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

බටහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව මඟින් 2022 දෙසැම්බර් මස 28 වන දින උදෑසන කල්පිටිය, ලුණුවිල මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම මුර සංචාරයේදී, මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් තුනක් (03) පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම පාර්සල් තුළ අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 150 පමණ තොගයක් (තෙත බර සහිත ) මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 15133 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මේ දක්වා සිදු කළ මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 19 දෙනෙකු ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.