නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1797 කට අධික තොගයක් මීගමුව, දූව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව ප්‍රදේශයේ අද දින (2022 දෙසැම්බර් 30) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1797 කට අධික තොගයක් සමඟ ලොරි රථයක් (01) සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, නාවික හමුදා ගවේෂණ කාර්යය සාධක බලකායේද සහය ඇතිව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව, දූව ප්‍රදේශයේ අද දින (2022 දෙසැම්බර් 30) උදෑසන සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ‍ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, එම ලොරි රථය තුල පාර්සල් පනස් අටක (58) අසුරා ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1797 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු, ලොරි රථය සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 1797 ක පමණ තොගය මෙලෙස ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.