කල්පිටිය, කුඩාව මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා සාමාජිකයෙකු විසින් බේරා ගනී

කල්පිටිය, කුඩාව මුහුදු ප්‍ර‍දේශයේ දිය නාමින් සිටියදී හදිසියේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු, එම මුහුදු ප්‍රදේශයට ආසන්න මාර්ග බාධකයක රාජකාරි නියුතු වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් නාවිකයෙකු විසින් නිරුපද්‍රිතව බේරා ගැනීමට 2022 දෙසැම්බර් 30 වන දින සමත් විය.

කුඩාව මුහුදේ 2022 දෙසැම්බර් 30 වන දින සන්ද්‍යා කාලයේදී පුද්ගලයන් කිහිප දෙනෙකු දිය නාමින් සිටින අතරතුර, ඉන් එක් පුද්ගලයෙකු දියේ ගිලෙමින් සිටින බවට, දිය නාමින් සිටි තවත් පුද්ගලයෙකු විසින් කුඩාව මුහුද ආසන්‍නයේ මාර්ග බාධකයක රාජකාරි නියුතු නාවිකයන් දැනුවත් කර ඇත. එම දැනුම්දීමට අනුව, වහාම ක්‍රියාත්මක වූ නායක නැවි පීජීආර් සෙනෙවිරත්න, එක්ස්එස් 84502 විසින් දියේ ගිලෙමින් සිටි පුද්ගලයා නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

අනතුරුව, අසාද්‍ය තත්වයේ සිටි එම පුද්ගලයා කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා කල්පිටිය, ප්‍රාදේශිය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලද අතර, ඔහු වයස අවුරුදු 24 ක් වන ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලදී.

තවද, දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගනිමින් සිදුකල ක්‍රියාව ප්‍රදේශවාසීන් විසින් එහිදී ඇගයීමට ලක් කල අතර, නාවික හමුදාවට ප්‍රශංසා කිරීමද සිදු කෙරිණි.