නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මන්නාරම, වංකාලේ, අච්චාන්කුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 05) අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09), කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාවක් (01) සහ මුහුදු කූඩැල්ලන් 168 ක පමණ තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අද දින (2023 ජනවාරි 05) අළුයම් කාලයේදී, ශ්‍රී ලංකා නාවික ‍නෞකා ඵුස්සදේව ආයතනය මඟින් මන්නාරම, වංකාලේ අච්චාන්කුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස අළුයම් කාලයේ මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09), කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාවක් (01) සහ මුහුදු කූඩැල්ලන් 168 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25ත් 58ත් අතර වයස්වල පසුවන මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව (01) සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාව පසුගිය 2022 වර්ෂය තුල සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස අල්ලා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් 18369 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 126 ක් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත භාරදී ඇත.