නීති විරෝධී සංක්‍රමණ කටයුතු සඳහා මුදල් ලබාගත් සැකකරුවන් 02ක්‍ මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 ජනවාරි මස 04 වන දින මීගමුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට මිනිසුන් සංක්‍රමණය කරවා රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබාගත් මිනිස් ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, මීගමුව පොලීසිය හා එක්ව 2023 ජනවාරි මස 04 වන දින සන්ද්‍යා කාලයේදී මීගමුව ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු මෝටර් රථයක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, මෙරටින් විදෙස් රටකට නීති විරෝධී ලෙස මිනිසුන් සංක්‍රමණය කරවා රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් විසි දෙනෙකුගෙන් (20) රුපියල් මිලියන පහකට (05) කට අධික මුදලක් ලබාගත් මිනිස් ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සමඟ එම මෝටර් රථය අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 සහ 41 යන වයසේ පසුවන හලාවත සහ කිලිනොච්චිය ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා (02) සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර, නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.