දේශිය ගංජා වගාකළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව 2023 ජනවාරි මස 12 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් රහසිගතව දේශීය ගංජා වගාකළ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙරට මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙනු ලබයි. ඒ අනුව, ගිණිකොණ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය, සාගම පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව 2023 ජනවාරි මස 12 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තණමල්විල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වගාකළ දේශිය ගංජා හේන් තුනක් සොයා ගන්නා ලද අතර, එහිදී දේශීය ගංජා පැල 2550 ක්, වියළි දේශීය ගංජා කිලෝ 13 ග්‍රෑම් 550 ක ප්‍රමාණයක්, දේශීයව නිෂ්පාදනය කල ගිනි අවි දෙකක් සමඟ වයස අවුරුදු 22 ත් 43 ත් අතර වයසේ පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද ගංජා පැල එම ස්ථානයේදීම පුළුස්සා විනාශ කිරිමට කටයුතු කල අතර, රුපියල් ලක්‍ෂ 6 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් දේශීය වියළි ගංජා තොගය, දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවි දෙක (02) සමඟ අදාළ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තණමල්විල පොලීසියට භාරදෙන ලදි.