නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද එනසාල් කිලෝග්‍රෑම් 1266 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2023 ජනවාරි මස 15 වන දින පුත්තලම ඒත්තාලෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම් 1266 ක පමණ තොගයක් සහ කෘමි නාශක කිලෝගෑම් 40 ක පමණ තොගයක් රැගත් කැබ් රථ දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය, පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2023 ජනවාරි මස 15 වන දින රාත්‍රියේ පුත්තලම ඒත්තාලෛ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ප්‍රදේශයේ නිවසක් අසල නවතා තිබූ කැබ් රථ දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් එම කැබ් රථ දෙකෙහි (02) උර 38 ක අසුරා ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම් 1266 ක පමණ තොගයක් සහ කෘමි නාශක කිලෝග්‍රෑම් 40.5 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 33 ක් සහ 41 ක් වන පුත්තලම සහ ඒත්තාලෛ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් එනසාල් තොගය, කෘමි නාශක තොගය, කැබ් රථ දෙක (02) සහ සැකකරුවන් දෙදෙනා (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.