නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් හලාවත කළපුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කළපු ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජනවාරි 18) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2468 කට අධික තොගයක් (‍තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරක් මත හලාවත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශය, බටහිර නාවික විධාන බුද්ධි අංශය සහ හලාවත වෙරළාරක්‍ෂක අනුඛණ්ඩයේ නාවිකයන් එක්ව අද දින උදෑසන (2023 ජනවාරි 18) හලාවත කළපු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, හලාවත කළපුව ඔස්සේ ගොඩබිම දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) හලාවත තොඩුවාව පාලම අසලදී පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම ඩිංගි යාත්‍රා තුළ පාර්සල් 76 ක අසුරා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 2468 ග්‍රෑම් 640 ක පමණ තොගයක් (තෙත බර සහිත ) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ක් සහ 42 ක් වන මීගමුව පිටිපන ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ ‍‍තොගය, ඩිංගි යාත්‍රා තුන (03) සහ සැකකරුවන් දෙදෙනා (02) ඉදිරි නිතීමය කටයුතු සඳහා මාදම්පේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.