නීති විරෝධී ලෙස විකිණීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි සහ දුම්කොල නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගාල්ල සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව අහංගම ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජනවාරි 18) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි පැකට් 120 ක්, දුම්කොළ කුඩු කිලෝග්‍රෑම් 5 කට අධික තොගයක් සහ දුම්කොළ කුඩු පානය කිරීම සඳහා ‍භාවිතා කරනු ලබන ෆිල්ටර් 2400 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව, නීති විරෝධී ලෙස විදේශීය දුම්වැටි අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සහ ගාල්ල සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය එක්ව අද දින උදෑසන (2023 ජනවාරි 18) අහංගම බස් නැවතුම අසල ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, අහංගම බස් නැවතුම අසල වෙළඳසැල් දෙකක් පරික්‍ෂාවට ලක්කර එම වෙළඳසැල් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි පැකට් 120 ක්, දුම්කොළ කුඩු කිලෝ 5 ග්‍රෑම් 150 ක් සහ දුම්කොළ කුඩු පානය කිරීම සඳහා ‍භාවිතා කරනු ලබන ෆිල්ටර් 2400 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 ක් සහ 41 ක් වන හබරාදූව සහ අහංගම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි.

තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02), විදේශීය දුම්වැටි තොගය, දුම්කොළ කුඩු සහ දුම්කොළ කුඩු පානය කිරීම සඳහා ‍භාවිතා කරනු ලබන ෆිල්ටර් තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා ගාල්ල සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.