රුපියල් මිලියන 16 කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 25) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින්, යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, උරයක් තුළ පාර්සල් 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 20 ග්‍රෑම් 900 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, එම මුහුදු ප්‍රදේශයේ උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාව යොදවා සිදුකල වැඩිදුර සෝදිසි මෙහෙයුමේදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ සැකකරුවන් විසින් මුහුදට දමා තිබූ තවත් උරයක් සොයා ගන්නා ලද අතර, එහි තිබී පාර්සල් 11 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 29 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 16 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 25 ත් 42 ත් අතරේ වයසේ පසුවන සැකකරුවන් තිදෙනා (03) යාපනය මණ්ඩතිව් සහ තාලයඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් තිදෙනා (03), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.