නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1447 කට අධික තොගයක් මීගමුව මුහුද සහ කළපු ප්‍ර‍‍දේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා මිගමුව, කළපු ප්‍රදේශයේ 2023 ජනවාරි මස 26 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1447 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් (02), 2023 ජනවාරි මස 26 වන දින මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර 21 ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. ‍ ‍එහිදී නාවික හමුදා මෙහෙයුම් හමුවේ නීති විරෝධි ලෙස ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලද බවට සැක කෙරෙන එම උර 21 හි අසුරා තිබූ බීඩි කොළ කිලෝ 1026 ග්‍රෑම් 770 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් 2023 ජනවාරි මස 26 වන දින මීගමුව, පිටිපන කලපු ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කළපුවේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාවේ උර 13 ක අසුරා සඟවා තිබූ බීඩි කොළ කිලෝ 420 යි ග්‍රෑම් 900 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් කිලෝ 1447 ග්‍රෑම් 670 ක බීඩි කොළ ‍‍තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.