රුපියල් මිලියන 4 කට ආසන්න දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය, අනලතිව් දූපතේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍පොලිසිය හා එක්ව 2023 ජනවාරි මස 28 වන දින රාත්‍රියේ යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් යාපනය, කයිට්ස් ‍පොලිසිය හා එක්ව යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ 2023 ජනවාරි මස 28 වන දින රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයේ සඟවන ලද පාර්සල් 06 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 12 ග්‍රෑම් 110 ක පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව සිදුකරන අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් වෙරළ තීරයේ සඟවන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම, රුපියල් මිලියන 4 කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා ‍තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.