මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

හම්බන්තොට සිට නාවික සැතපුම් 5.3 ක් පමණ (කිලෝ මීටර් 09 ක් පමණ) නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව 2023 පෙබරවාරි මස 17 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.

තංගල්ල ධීවර වරායෙන් 2023 පෙබරවාරි මස 17 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘MAKSEEN 8’ (ලියාපදිංචි අංක IMUL-A-1058 TLE) නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හම්බන්තොට ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇති බවත් එම ධීවරයා හට ප්‍රථිකාර ලබාදීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා සහාය ලබාදෙන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකරන ලදි.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්ත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයට අනුයුක්ත, පී 227 වෙරළබඩ මුර යාත්‍රාව එම මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදි. ඒ අනුව, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා 2023 පෙබරවාරි මස 17 වන දින රාත්‍රීයේ රෝගී වූ ධීවරයා හම්බන්තොට සිට නාවික සැතපුම් 5.3 ක් පමණ (කිලෝ මීටර් 09 ක් පමණ) නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී පී 227 වෙරළබඩ මුර යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටී.