නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක තොගයක් සමඟ සැකකරුවන් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක තොගයක් සහිත ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින රාත්‍රී කාලයේ සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් (01) නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, එම ලොරි රථය තුල උර හතලිස් අටක (48) අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක ‍තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම, සැකකරුවන් විසින් ලොරි රථය තුළ බීඩි කොළ තොගය සූක්ෂම ලෙස ආවරණය වන ලෙස උර තිස් නවයක (39) ක අසුරන ලද දුම්කොළ කිලෝග්‍රෑම් 744 ක් සහ උර අටක (08) අසුරන ලද දුම්කොළ කුඩු කිලෝග්‍රෑම් 129 ක තොගයක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ත් 36 ත් අතර වයසේ පසුවන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, ලොරි රථය, බීඩි කොළ තොගය සහ දුම්කොළ හා දුම්කොළ කුඩු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.