නීති විරෝධී ලෙස විකිණීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක් සමඟ සැකකරුවන් 02 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2023 පෙබරවාරි මස 21 වන දින මන්නාරම, තාවුල්පාඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, එම ප්‍රදේශයේ වෙළඳසැලක් පරික්‍ෂාවට ලක්කර එම වෙළඳසැල තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 63 ක් වන කුරුණෑගල සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා (02) සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.