නීති විරෝධී ලෙස ධීවර කර්මාන්ත‍යේ යෙදුනු පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 22 වන දින රාත්‍රියේ සහ අද දින (2023 පෙබරවාරි 23) උදෑසන සිදුකල සෝදිසී මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් දහතුන් දෙනෙකු (13) සහ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතා කරමින් ධීවර කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින් 2023 පෙබරවාරි මස 22 වන දින රාත්‍රියේ එම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල වි‍ශේෂ සෝදිසි මෙහෙයුමකදී, විදුලි ධාරා සහිත යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, නීතී විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතා කරමින් ධීවර කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ විදුලි උපකරණ සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එමෙන්ම, අද දින (2023 පෙබරවාරි 23) උදෑසන කාලයේදී, ශ්‍රී ලංකා නාවික ‍නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් දහතුන් දෙනෙකු (13), මුහුදු කූඩැල්ලන් 789 ක පමණ තොගයක් සමඟ යාත්‍රා හතරක් (04) සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් මන්නාරම සහ යාපනය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින් පහලොස් දෙනා (15), යාත්‍රා, මුහුදු කූඩැල්ලන්, ධීවර ආම්පන්න සහ විදුලි උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

ධීවර ප්‍රජාවගෙන් ඉතා සුළු පිරිසක් විසින් සිදුකරනු ලබන මෙවැනි නීති විරෝධි ධීවර කටයුතු හේතුවෙන් සාගරික ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩ පැවැත්වීම සදහා සහ නීත්‍යනුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.