කේරළ ගංජා කිලෝ 04 ක් සමඟ සැකකරුවෙක් යාපනය සංගුපිඩ්ඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව යාපනය, සංගුපිඩ්ඩි මාර්ග බාධකයේදී 2023 මාර්තු මස 01 වන දින සවස් කාලයේ සිදුකල පරික්‍ෂා කිරීමකදී, කේරළ ගංජා කිලෝ 04 ක පාර්සල් දෙකක් (02) බස්රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් පූනකරි පොලිසිය හා එක්ව 2023 මාර්තු මස 01 වන දින සවස් කාලයේ සංගුපිඩ්ඩි මාර්ග බාධකය අසල සිදුකල මෙම විශේෂ පරික්‍ෂා කිරීමේ මෙහෙයුමේදී, යාපනය සිට මන්නාරම බලා ධාවනය වූ බස් රථයක ගමන් ගත් සැක කටයුතු පුද්ගලයෙකු පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී කේරළ ගංජා කිලෝ හතරක (04) ප්‍රමාණයක් සහිත පාර්සල් දෙකක් (02) සමඟ එම සැකකරු (01) ‍මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියනයකට (01) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු (01) වයස අවුරුදු 26 ක් වන යාපනය, අනලතිව් දූපතේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, අත්අඩංගුවට ගත් කේරල ගංජා සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා පූනකරි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.