මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මාර්තු 12) අළුයම වෙත්තලකේණි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දහසය දෙනෙකු (16) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්, අද දින (2023 මාර්තු 12) අළුයම මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුම් උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකරන ලදී. එහිදී, වෙත්තලකේණි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු සීමාවේ සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දහසය දෙනෙකු (16) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දහසය දෙනා (16) මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

නාවික හමුදාව පසුගිය 2022 වර්ෂයේදී සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 36 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.