නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 ක් මන්නාර‍මේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, සිලාවතුර හා වංකාලේ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 13 වන දින අළුයම් කාලයේ සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 814 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 මාර්තු මස 13 වන දින අළුයම් කාලයේදී වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා විජය ආයතනයට අනුයුක්ත පී 155 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා මන්නාරම, සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, වලංගු බලපත් රහිතව එම මුහුදු ප්‍රදේශයේ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 580 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 මාර්තු මස 13 වන දින අළුයම් කාලයේදී උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයේ වංකාලේ නාවික අනුඛණ්ඩය මඟින් මන්නාරම, වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් 234 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33 ත් 54 ත් අතර වයස්වල පසුවන කල්පිටිය සහ වංකාලේ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය සහ මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.