නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1156 කට අධික තොගයක් පුත්තලමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 04 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් නිවසක් තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1156 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයේ උඩප්පුව නාවික අනුඛණ්ඩය මඟින් පුත්තලම,‍ පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 04 විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, එම ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂාවට ලක්කරන ලද අතර, එම නිවස තුල අලෙවි කිරීම සඳහා කාඩ්බෝඩ් ඇසුරුම් 44 ක් තුල ඇසුරුම් කර තිබූ බීඩි කොළ කිලෝ 1156 ග්‍රෑම් 700 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 45 ත් වයසේ පසුවන මුලතිව් සහ නල්ලතන්නිය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් දූෂණ මර්ධන ඒකකය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.