රුපියල් මිලියන 92 කට අධික දළ වීථි වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 03 ක් තලෛයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද දින (2023 අප්‍රේල් 05) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක පමණ තොගයක් රැගත් විදේශීය ඩව් යාත්‍රාවක් සමඟ විදේශීය සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණ නාවිකයින් යොදවා අද දින (2023 අප්‍රේල් 05) තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදි, එම ඩව් යාත්‍රාව තුල උර 03 ක් තුල පාර්සල් 95 ක අසුරන ලද හෂීස් කිලෝ ග්‍රෑම් 92 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩව් යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 92 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් තිදෙනා (03) හෂීස් කිලෝ ග්‍රෑම් 92 ක පමණ තොගය සහ ඩව් යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.