රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 15 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 62 කට අධික තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය ශාක්සාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු පුළුල් කරමින් නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 411 වේග ප්‍රහාරක යාත්‍රාව යොදවා යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 15 වන දින රාත්‍රී කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදි, එම යාත්‍රාවෙහි උර දෙකක් තුල (02) පාර්සල් විසි තුනක (23) අසුරන ලද කේරළ ගංජා කිලෝ 62 ග්‍රෑම් 400 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩව් යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03), කේරළ ගංජා කිලෝ 62 ග්‍රෑම් 400 ක තොගය සහ ඉන්දීය ඩව් යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.