නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාමුනෙයි හා චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි 2023 අප්‍රේල් මස 16 වන දින හා අද දින (2023 අප්‍රේල් 17) සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 අප්‍රේල් මස 16 වන දින රාත්‍රී කාලයේදී උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩයේ කුඩා යාත්‍රා යොදවා මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයන් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, අද දින (2023 අප්‍රේල් 17) අළුයම් කාලයේදී වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩයේ මැරීන් බලඝණ කණ්ඩායමක් විසින්, චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදී සිටි පුද්ගලයන් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 59 ත් අතර පසුවන මන්නාරම, තලයාඩී, පූලයාර්කොයිලඩි, පුදුකුඩුඉරුප්පු සහ ආනන්දපුරම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින් දෙළොස් දෙනා (12), ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා තුන (03) ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.