විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව ත්‍රිකුණාමලය, නයාරු සහ අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 18 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 අප්‍රේල් මස 18 වන දින රාත්‍රී කාලයේදී නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අයත් නයාරු නාවික අනුඛණ්ඩයේ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ කණ්ඩායමක් සහ මුලතිව් සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව නයාරු සහ අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 44 ත් අතර වයසේ පසුවන පුත්තලම, කුච්චවේලී සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගත් අතර, එම පුද්ගලයින් අට දෙනා (08), ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා හතර (04) ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.