වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 25 ක් යාපනය උදයපුරම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 19 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 25 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව සහ වේළුසුමන යන ආයතනයන් විසින් 2023 අප්‍රේල් මස 19 වන දින යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළට ආසන්න පඳුරක් යට සඟවා තිබූ සැක කටයුතු උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහීදී, එම උරය තුල තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 25 ක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කරන අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.