නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 ක්‍ වියට්නාමයේ සිට මෙරටට පිටුවහල් කෙරේ

ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහුදේදී ආපදාවට පත් වූ අතර, එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටින ලදි. එලෙස රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් වියට්නාමයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 151 ක් 2022 දෙසැම්බර් 28 වන දින මෙරටට ලඟා වූ අතර, එලෙස තාවකාලිකව රඳවා සිටි තවත් ශ්‍රී ලාංකිකයන් විසිතුන් දෙනෙකු (23) 2023 අප්‍රේල් මස 19 වන දින කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට ළඟා විය.

ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් ‘Lady R3’ නමැති වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් වියට්නාම් මුහුදේ ගිලෙමින් පවතින බවට, පසුගිය 2022 නොවැම්බර් මස 07 වන දින උදෑසන නාවික හමුදා මුලස්ථානයට තොරතුරක් ලැබිණි. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ආපදාවට පත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස මුදවා ගැනීම සඳහා එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය ආවරණය වන සිංගප්පූරු, වියට්නාම් සහ පිලිපීන සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දැනුවත් කිරීමට කටයුතු ‍කෙරිණි.

ඒ අනුව, සිංගප්පූරු සහ වියට්නාම් සමුද්‍රීය සෙවිම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයන්ගේ සම්බන්ධීකරණයෙන්, MV ‘Helios Leader’ නමැති වෙළඳ නෞකාව මඟින් ආපදාවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිස බේරා ගැනීමෙන් අනතුරුව, 2022 නොවැම්බර් මස 09 වන දින වියට්නාම් සෙවිම් සහ මුදවා ගැනීම් යාත්‍රාවක් මඟින් වියට්නාමය වෙත රැගෙන ගොස් එරටේ තාවකාලිකව රඳවා සිටින ලදී.

මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නීත්‍යනුකූලව ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගින් පිටත්ව ගොස්, මියන්මාරයේ සිට විදෙස් රටකට ජාත්‍යන්තර මිනිස් ජාවාරම්කරුවන්ගේ සම්බන්ධීකරණයෙන් මුහුදු මඟින් නීති විරෝධී ලෙස සංක්‍රමණය වෙමින් සිටියදී 2022 නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහු‍දේදී ආපදාවට පත් වී ඇත.

2023 අප්‍රේල් මස 19 වන දින මෙරටට පිටුවහල් කල වයස අවුරුදු 19 ත් 50ත් අතර වැඩිහිටි පිරිමි -15 යි, වැඩිහිටි කාන්තාවන් - 06, වයස අවුරුදු 18ට අඩු දෙදෙනෙකු (02) ගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයන් විසිතුන් දෙනා (23) යාපනය, කිලිනොච්චිය, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශයන්ගේ පදිංචි දමිළ ජාතිකයන් බවට හඳුනා ගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු ආගමණ හා විගමණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාල පාර්ශවයන් විසින් සිදු කරනු ලබයි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මෙරට සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ පමණක් නොව, යාබද සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපයන්හිදීද ආපදාවට පත්වන පුද්ගලයන් මුදවා ගැනීම සඳහා, නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව කටයුතු කරනු ලබයි.