නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 10 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුදිරිප්පු, වෙත්තලකේණි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ 2023 අප්‍රේල් මස 26 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 1040 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 අප්‍රේල් මස 26 වන දින උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික ස්ථානගතකිරීම මඟින් කුඩා යාත්‍රා යොදවා යාපනය කුදිරුප්පු, වෙත්තලකේණි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, වලංගු බලපත් රහිතව එම මුහුදු ප්‍රදේශයන්හී මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් දස දෙනෙකු (10) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 1040 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා පහක් (05) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 46 ත් අතර වයස්වල පසුවන මන්නාරම වංකාලේ සහ පල්ලෙමුණේ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය, තලයඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.