නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 22 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කින්නියා පාලම අවට ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 27 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 අප්‍රේල් මස 27 වන දින අළුයම් කාලයේදී නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අයත් නයාරු නාවික අනුඛණ්ඩයේ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ කණ්ඩායමක්, මුලතිව් සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව මුලතිව් නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 අප්‍රේල් මස 27 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ හා පැරකුම්බා ආයතන, ත්‍රීකුණාමලය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව කින්නියා පාලම අවට කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දහ හතර දෙනෙකු (14) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 29 ත් 56 ත් අතර වයසේ පසුවන මීගමුව, මුලතිව්, කින්නියා සහ චීන වරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහ ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.