හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලීසිය හා එක්ව සිලාවතුර ප්‍රදේශයේ 2023 අප්‍රේල් 27 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට ලද තොරතුකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම පොලීසිය හා එක්ව 2023 අප්‍රේල් 27 වන දින සවස් කාලයේ සිලාවතුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදි, එම පුද්ගලයා සන්තකයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893 ක පමණ පාර්සලයක් සමඟ එම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෂීස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් ලක්ෂ අටකට (08) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු (01) වයස අවුරුදු විසිහතරක් (24) වන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893 ක පමණ ප්‍රමාණය සහ සැකකරු (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.