නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 836 කට අධික තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, පරාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩාව වෙරළ තීරයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රියේ සහ අද දින (2023 මැයි 01) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 836 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පරාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රි කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කරන ලදි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ උර දහ හතක (17) අසුරා තිබූ බීඩි කොළ කිලෝ 550 ග්‍රෑම් 750 තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කුඩාව වෙරළ තීරයේ අද දින (2023 මැයි 01) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් එම වෙරළ තීරයේ සඟවා තිබූ උර නවයක (09) අසුරන ලද බීඩි කොළ කිලෝ 286 ග්‍රෑම් 200 ක තොගයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ක් සහ 23 ක් වන කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව (01) සහ බීඩි කොළ කිලෝ 836 ග්‍රෑම් 950 ක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.