වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 50 ක් යාපනය අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 50 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් පහළොවක් සහ සේවා නූල් සෙන්ටිමීටර් 172 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව සහ වේළුසුමන යන ආයතන එක්ව 2023 අප්‍රේල් මස 30 වන දින යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශය ආසන්නයේ පිහිටි ගල් තට්ටුවක් යට සඟවා තිබූ සැකකටයුතු බෑගයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහීදී, එම බෑගය තුල සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 50 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් පහළොවක් (15) සහ සේවා නූල් සෙන්ටිමීටර් 172 ක පමණ ප්‍රමාණයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.