විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 02 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 අප්‍රේල් මස 30 වන දින රාත්‍රී කාලයේදී උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩය මඟින් යාපනය චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 ක් හා 26 ක් වන පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගත් අතර, එම පුද්ගලයින් දෙදෙනා (02), ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.