නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 02 වන දින උදෑසන සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් ධීවර දැල් භාවිතයෙන් නීති විරෝධී ‍ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 මැයි මස 02 වන දින උදෑසන නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් යොදවා ත්‍රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ තහනම් ධීවර දැල් භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 57 ත් අතර වයසේ පසුවන චීන වරාය, කින්නියා සහ මූතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් විසිපස් දෙනා (25), ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා පහ (05) ඉදිරි නීතීමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, කොඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.