අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 06 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 05 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 ක් සමග ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අනවසර සංක්‍රමණ ඇතුළු මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, 2023 මැයි මස 05 වන දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන යාත්‍රාවේ ක්‍රියාකරු සමඟ වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (02), එක් කාන්තාවක් (01) හා ළමුන් තිදෙනෙකු (03) ඇතුළු හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පිරිස වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.