නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 20 ක් නැ‍ගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ එම කලපු ප්‍රදේශයේ 2023 මැයි මස 05 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙනෙකු (20) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 මැයි මස 05 දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය සහ රන්වැලි ආයතන මඟින් මුලතිව්, කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ එම කලපු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින්ද, කෝකිලායි කලපු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් ධීවර දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ ධීවර ආම්පන්න ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය මඟින්ද මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් හා 59 ත් අතර, වන පුල්මුඩේ, ත්‍රීකුණාමලය, කෝකිලායි, මන්නාරම, මදුරන්කුලිය, රොටවැව, මීගමුව, කටුනේරිය, සහ මාතර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා කුච්චවේලී ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.