කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 කට අධික තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේ අද දින (2023 මැයි 08) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 (තෙත බර සහිත) කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය, මණ්ඩතිව් දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේ අද දින (2023 මැයි 08) උදෑසන සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ලඳු කැළෑවක් තුල සඟවා තිබූ උර තුනක් (03) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදි. එහිදි, එම උර තුන (03) තුල පාර්සල් විසි දෙකක (22) අසුරන ලද, කේරළ ගංජා කිලෝ 85 ග්‍රෑම් 450 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 28 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදාව භාරයේ තබා ඇත.