මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කල ශ්‍රී ලාංකිකයන් 41 ක් එරටින් පිටුවහල් කරයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයින් 41 ක් 2023 මැයි මස 02 වන දින ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී, එරට දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල එම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් විශේෂ ගුවන් යානයක් 2023 මැයි මස 09 වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සේන්දු විය.

මුහුදු මාර්ග ඔස්සේ අනවසරයෙන් ‍විදේශයන් වෙත සිදු කෙරෙන මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියානු සාගර කලාපය භාවිත කරනු ලබන අනෙකුත් පාර්ශ්වකරුවන් හා එක්ව සාගර කලාපය ආවේක්ෂණය කරමින් නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2023 අප්‍රේල් මස 10 වන දින මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයෙන් බහුදින ධීවර යාත්‍රාවක් මඟින් පිටත්ව ගොස්, නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය විසින් මෙම ශ්‍රීලාංකිකයන් පිරිස 2023 මැයි මස 02 වන දින අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු පිටුවහල් කරන ලද වැඩිහිටි පිරිමි පුද්ගලයන් තිස් හතරක් (34), කාන්තාවන් තිදෙනෙක් (03) හා වයස අවුරුදු 18 ට අඩු සිව්දෙනෙකු (04) ගෙන් සමන්විත මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස කොළඹ, වාලච්චේන, මඩකලපුව, ඔට්ටමාවඩි සහ කලවංචිකුඩි යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.

2023 මැයි මස 09 වන දින මෙරටට පිටුවහල් කල පිරිසද ඇතුළුව 2023 වසරේ මේ දක්වා නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 43 දෙනෙකු නැවත මෙරටට හරවා එවා ඇත. එමෙන්ම, 2012 වසරේ සිට 2022 වසර දක්වා නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු විමට උත්සාහ කර, එරටින් පිටුවහල් කර ඇති ශ්‍රී ලාංකිකයන් පිරිස 1314 ක් වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකාය හා සහයෝගීත්වයෙන් කටයුතු කරමින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සිදු කෙරෙන මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීමට පියවර ගන්නා බැවින්, ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට කිසිදු ඉඩක් නොමැති අතර, මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී ජීවිත හා දේපළ විනාශ කරගැනීමෙන් මෙන්ම, නීතිය ඉදිරියේ වරදකරුවකු වීමෙන්ද වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කර සිටියි.