ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ගාල්ල, අකුරැස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත 2023 මැයි මස 14 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අද දින උදෑසන (2023 මැයි 15) මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය පානදුගම ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් අවශ්‍ය සහන සැලසීම් සිදු කෙරිණි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයේ සහන කණ්ඩායම් විසි හයක් (26) සහ දකුණු නාවික විධානයේ සහන කණ්ඩායම් හතරක් (04) සූදානමින් තබා ඇත.