නැගෙනහිර මුහුදේදී රෝගී වූ විදේශ ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ NERU XINRUI නැමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 මැයි 28) කටයුතු කරන ලදී.

චීනයේ සිට ඉන්දියාව දක්වා යාත්‍රා කරමින් තිබූ NERU XINRUI නැමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකු හදිසියේ රෝගී වී ඇති බවට නැගෙනහිර නාවික විධාන මූලස්ථානය වෙත දැනුම් දීමක් සිදුකරන ලදි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්වයේ සිටි එම විදේශීය ජාතිකයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 115 වෙරළබඩ මුර යාත්‍රාව රෝගී වූ විදේශීය ජාතිකයා සහිත වෙළඳ නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කරන ලදි. ඒ අනුව, රෝගීවූ පුද්ගලයා වෙළඳ නෞකාවෙන් වෙරළබඩ මුර යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, ප්‍රථමාධාර ලබා දෙමින් අද දින (2023 මැයි 28) ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලයේ පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටී.