නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින දිවා කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සහ ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 ජුනි මස 06 වන දින දිවා කාලයේදී උතුරු නාවික විධානයට අයත් පී 055 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා, යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම ප්‍රදේශයේ වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 37 ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් හත් දෙනා (07), ඩිංගි යාත්‍රාව (01), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව නැගෙනහිර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.