මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඡුනි මස 21 වන දින රාත්‍රි කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්, 2023 ජුනි මස 21 වන දින රාත්‍රි කාලයේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, එම ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් යොදවා සිදු කරන ලදී. එහිදී යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර (04) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසි දෙදෙනා (22) කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.