Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ කඩ්පත් තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජුනි මස 24 වන දින කල්පිටිය, කරඹ මාර්ග බාධකය අසල සිදුකළ විශේෂ පරික්‍ෂාවකදී, අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ කාඩ්පත් හතලිස් දෙදහස් තුන්සීයයක (42300) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, කරඹ මාර්ග බාධකය අසලදී 2023 ජුනි මස 24 වන දින රාත්‍රීයේ සැකකටයුතු වෑන් රථයක් නිරීක්ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම වෑන් රථයේ අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ කාඩ්පත් හතලිස් දෙදහස් තුන්සියයක (42300) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01), වෑන් රථය (01) සහ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ කාඩ්පත් 42300 ක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.