රුපියල් මිලියන 30 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ 2023 ජුනි මස 30 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් අනු දෙකකට (92) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා යන ආයතනයන් 2023 ජුනි මස 30 වන දින මන්නාරම, ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ ළඳු කැළෑවක සූක්ෂම ලෙස සඟවා තිබූ ගෝනි උර තුනක් (03) නීරීක්ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, එම උර තුළ පාර්සල් හතලිස් දෙකක (42) අසුරන ලද කේරළ ගංජා කිලෝ 92 ග්‍රෑම් 250 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 30 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ 92 ග්‍රෑම් 250 ක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.