වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 65 ක් යාපනය කයිට්ස් සහ අරියාලෛ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපතේ සහ අරියාලෛ ප්‍රදේශයන්හී 2023 ජුලි මස 04 සහ 05 දිනයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කයිට්ස් අල්ලප්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සහ අරියාලෛ මනියන්තෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 65 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් දහ අටක් (18) සහ සේවා නූල් සෙන්ටිමීටර් 155 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් 2023 ජුලි මස 04 වන දින කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කළපු ප්‍රදේශය ආසන්නයේ පිහිටි ළදු කැළෑවක් තුල සඟවා තිබූ සැකකටයුතු බෑගයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහීදී, එම බෑගය තුල සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 30 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් අටක් (08) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතන මඟින් 2023 ජුලි මස 05 වන දින යාපනය, අරියාලෛ මනියන්තෝට්ටම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ සැකකටයුතු බෑගයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එහීදී එම බෑගය තුල සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 35 ක් සමඟ විදුලි නොවන ඩෙටර්නේටර් දහයක් (10) සහ සේවා නූල් සෙන්ටිමීටර් 155 ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම වාණිජ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.